2014/03/18

සුන්දර හනමිචිය දිගේ


සාමයේ හා නිසල බවේ අගනුවර වූ කියෝතෝව

ජපානයේ ඇති හතර වැනි විශාලම නගරය ලෙස කියෝතෝ නගරය හැඳින්විය හැකිය. එය මෙයට අවුරුදු දාහකටත් එපිට කාලයේ “හියාත් -කියෝ” ලෙස හඳුන්වා ඇත. හියාත්-කියෝ යනුවෙන් හඳුන්වනුයේ “සාමයේ හා නිසල බවේ” අගනුවර යන තේරුමයි “කමු” අධිරාජ්‍යයාගේ යුගයේදී මෙම නගරය ගොඩ නැගී ඇත. අද ජපානයේ සාම්ප්‍රදායික කලා ශිල්ප හැකියාවන් පෙන්වන මධ්‍යස්ථානයක් ලෙස මෙම අගනා කියෝතෝ නගරය හැඳින්වේ. ජපානය තුළ පැතිරී ගිය බුදු දහමේ මධ්‍යස්ථානයක් ලෙසද කියෝතෝ නගරය ජපානය විසින් හඳුන්වනු ලැබේ. එසේ හඳුන්වනුයේ ජපානයේ බුදු දහම වඩා ක්‍රියාකාරී ලෙස පැවතියේ කියෝතෝවේ යැයි වැඩි දෙනෙකු සැලකූ නිසාය. කියෝතෝ නගරයේ විහාරස්ථාන, පන්සල් එක්දහස් හයසියයකට වැඩි ප්‍රමාණයක් දැනටමත් ගොඩ නැගී ඇත. එසේ වුවත් බුදු දහම එතරම්ම පැතිරී නැති අතර කියෝතෝ නගරයේ ෂින්තෝ දහමද තරමක් දුරට පැතිරී ගොස් ඇත. ශත වර්ෂ ගණනාවක සිට කියෝතෝ නගරයේ ප්‍රධාන කර්මාන්තය වී තිබුණේ සේද විවීමය. ඒ වගේම සහල්වලින් පෙරා සාදා ගන්නා පානයක් වන ඉස්තරම්ම “සකේ” වලට ප්‍රසිද්ධියක් ලැබුවේද මේ කියෝතෝ නගරයයි. 
 

   











     
කියෝතෝහි ෆුෂිමි පළාත් පුරාණ කාලයේ සිට සකේ සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබි ඇත. සාම්ප්‍රදායික නාට්‍ය විශේෂයක් වන කබුකි නාට්‍යවල උපත සිදුවී ඇත්තේද මේ කියෝතෝ නගරය මුල් කරගෙනය. කියෝතෝ නගරය ගොඩනැගී ඇත්තේ කට්සුරා සහ කමෝ ගංගාවන්ට මැදින් පිහිටි හොන්ෂු දිවයින මැදය. එකල නගරය පාලනය කළ කමු අධිරාජ්‍යයාට අවශ්‍ය වී තිබුණේ කඳුකරයෙන් වටකොට ආරක්ෂාකාරී ලෙස හියාත් කියෝ නගරය නොහොත් කියෝතෝ නගරය නිර්මාණය කිරීමටයි. චීන ජාතිකයින් තුළ පැවැති පැරණි අදහසක් වන නගරයේ උතුරු කෙරවල් තුළින් භූතාත්ම නගරයට ඇතුල්වනවා කියන අදහස කමු අධිරාජ්‍යයාටත් බලපෑ හෙයින් මෙම නගරයේ උතුරු ප්‍රවේශය හොඳින් ආරක්ෂා කළ යුතු බව අධිරාජ්‍යයා තදින්ම විශ්වාස කළ කරුණක් විය. ඉතාමත් නිසල පරිසරයක් තුළ ගොඩනැගුණු කියෝතෝ නගරයේ ගොඩනැගිලි අතර කියෝතෝ රජ මාලිගාවත් නිජෝ බලකොටුවත් විශේෂ ස්ථානයක් ගනියි. එහි තිබෙන රිදී නැරඹුම් ශාලාවත් (SILVER PAVILION) Ginkaku-ji රන් නැරඹුම් ශාලාවත් (GOLDEN PAVILION) Kinkaku-ji මහායාන බුදු දහමේ විහාරවල හැඩය පෙන්නුම් කිරීමද යම් විශේෂ දෙයකි.












කියෝතෝවේ පාලනය මුලින්ම රැඳී පැවතියේ සේද කර්මාන්තය සඳහා පැමිණි සේද වියන්නන්ගේ “ෆුජිවරා” නමැති පාරම්පරිකයින් අතයි. දොළොස්වන ශත වර්ෂයේදී “මිතමොටෝ යුරිටෝමොතෝගේ” පාලන කාලයේදී මෙම නගරයේ බෞද්ධ විහාර වැඩි ප්‍රමාණයක් ගොඩනැගී ඇත. ඒ තුළින් සමුරායි රණවිරුවන් අතින් සෙන් දහමද කියෝතෝ නගරය තුළ පැතිරී යාම ආරම්භ විණි. 14 වැනි හා 15 වැනි සියවස්වල කාන්තාවන්ගේ දායකත්වය කලා කටයුතු සඳහා වැඩි වැඩියෙන් ලැබි තිබේ. මල් සැලසුම් කලාව, තේ පානෝත්සවය වැනි කලා කටයුතු මේ අය තුළින් කියෝතෝ නගරයේ ජන සමාජය තුළ ඉතා ක්‍රමවත් ලෙස ව්‍යාප්ත වීමද සිදුවී ඇත. කෙසේ වෙතත් ජපන් ජනතාව තුළ නිරන්තර ගරු බුහුමන් ලබමින් අගනා කියෝතෝ නගරය අද ඉතා දැකුම්කලු ලෙස වැජඹෙයි.